Wednesday, August 24, 2016

බුද්ධිමතුන්ට අමතක වූ තරමක්.


                                      මානව සංහතියේ පැවැත්ම ඔවුන් තුල පවත්නා මතක ශක්තිය මත රදා පවතින බව පැවසීම මුසාවක් නොවෙයි. සමස්ත ලෝකයේම අවධානය දිනාගත් විද්වතුන්ගේ කල්පනා ශක්තිය ඉතාමත් තියුණු බව බහුතරක් දෙනා අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයක්. නමුත් ඔවුන්ට සිදුවූ අමතක වීම් හා ඔවුන් කරන ලද ඇතම් ක්‍රියාවන් ඔවුගේ දැනීමේ තරම දෙස බලන විට පුදුම එලවන සුළුයි.

                                        විදුලි බුබුළ, සිනමටෝස්කෝපය ආදී විශිෂ්ට නිර්මාණ රැසක් බිහි කළ තෝමස් අල්වා එඩිසන් දිනක් තම බදු මුදල් ගෙවීම උදෙසා බදු කාර්යාලය වෙත ගියා. බදු ගෙවීමේ පෝලිම එදින තරම් දිගුව තිබුණු හෙයින් කාලය නිකරුණේ ගෙවා නොදමන ඔහු විද්‍යා ගැටළුවක් විසදමින් සිටියා. තම වාරය එන තෙක් ම ඔහු ගැටළුව නිරාකරණය කිරිමට උත්සහ ගත්තා. ඔහුගේ වාරය එළඹීමෙන් පසු මුදල් භාර ගැනිමට සුදානම් වූ මුදල් අයකැමි තැන එඩිසන්ගේ නම විමසා සිටියා. එඩිසන්ට තම නම අමතක වී තිබුණා. ඉතාමත් වර වෑයමින් ඔහු උත්සහ කළේ තම නම මතක් කර ගැනීමටයි. වාසනාවකට මෙන් එම කාර්යාලයේ ප්‍රධානියා ඔහු දැක “ එඩිසන් මහත්මයා, සුබ උදෑසනක්.” යැයි කීවා. තමාගේ නම මතකයට නගා ගත් එඩිසන් කාර්යය අවසන් කර නික්ම ගියා.

                                      සාපේක්ෂතාවාදය ලොවට හදුන්වා දුන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් දිනක් අවන්හලකට ගොඩවැදී ආහාර ගත් පසු කබායක් පැළදගෙන නික්මගියා. ඔහු පැළද සිටියේ ඔහුගේ ප්‍රමාණයට නොගැළපෙන විශාල කබායක්. කල්පනාවක නිග්මන් වූ ඔහුට ඒ පිළිබද අවබෝදය වුයේ නැහැ. මද දුරක් ගිය ඔහු කබායේ සාක්කු වලට අත දමන විට එහි අත්මේස් තිබෙනු දැක තමා අත්මේස් නොපලදින බැවින් නැවත අවන්හලට විත් එහි කළමනාකරුට මෙසේ පැවසුවා.
“ තමුසෙලාගේ වැඩවල කිසිම තේරුමක් නෑ. බලනවා මගේ කබායේ සාක්කු වලට කවුදෝ වැරදීමකින් අත්මේස් දෙකක් දමලා.”
අයින්ස්ටයින් ඇද සිටි කබායේ උස මහත සහ අත්වල දිග දැක සිදුවූ දේ වටහා ගත් කළමනාකරු අයින්ස්ටයින්ට සිදුව ඇති දේ පිළිබද පැහැදිලි කර දුන්නේ ඉතාමත් අපහසුවෙන්.

                                         ගුරුත්වාකර්ෂණය ලොවට හදුන්වා දුන් ශ්‍රීමත් අයිසෙක් නිවුටන් ගිනි තපිමින් සිටින අතරතුර, “ මේ ගින්දර නිවනවා. මේකේ රස්නෙට මාව කරවෙයි. ගින්දර රස්නේ වැඩියි.” කියමින් දහදිය පෙරාගෙන බියෙන් කෑමොර දෙන්නට වුණා.
 “මහත්මයා ඔය පුටුව පස්සට ඇදල වැඩිවුනා නම් රස්නය අඩු වෙනවනේ.”  ඔහු වෙත පැමිණි සේවකයා පැවසුවා.
“හැබෑ නේන්නම් මට ඒක කල්පනා වුනේ නෑ නේ.”  නිවුටන් පිළිතුරු දුන්නා.

                                          18 වන සියවසේ ජිවත් වූ ප්‍රංශ ජාතික තෘණ විද්‍යාඥයකු වූ ගැයිලොම් ෆෑන්ක් කොයිස් ද අමතක වීමේ රෝගයෙන් පෙලෙන්නෙක් වුණා. ඔහුගේ මේ රෝගයෙන් බලවත්ම කරදරය වුණේ ඔහුගෙන් ඉගෙනගත් සිසුන්ටයි. ගැයිලොම් පන්තියේ උගන්වමින් සිටින අතරතුර තම ඇදුම් එකිනෙක ගලවා ඉවත දමනවා. එවන් අවස්ථාවන්හිදී “ ඔබ සිටින්නේ ඔබේ නිදන කාමරය තුළ නෙවෙයි.” කියමින් ඔහුට මතක්කර දිමට සිසුන්ට සිදු වුණා.


                            මතක ශක්තිය කියන්නේ බුද්ධිමත් බවේ ලක්ෂණයක් කියල සමාජයේ මතවාදයක් තිබුණත්, ඒක එහෙම නොවෙන බව ඉහත නිදසුන් මොනවට කියාපානවා.      

1 comment: