Friday, July 29, 2016

භාවනාවේ සරන්නී

බස්පොළේ, හංදියේ උඹව මට හමුවුණා
යාගන්න බැහැ සිතා මම ඔබව ගොඩ කළා
පේළියට තිබුණු ඒ මුඩුක්කුව ළගදි උඹ
නවතන්න යැයි කියා උඹම මට අණකළා

එන්න යනවාදැයි උඹ මෙමට ඉගි කළා
මදමතින් සිටි මෙමට ඒ ඉගිය රැවටුනා
අණ ගසපු පිට පළුව ආවරණ කොට ගත්තු
අටයි අට බිම් තීරුවේ නුඹ සැතපිලා

පොඩ්ඩකට මම ගොහින් එන්නදැයි කියා කියා
විටින් විට යන ගමන මට ප්‍රෙහේලිකා වුණා
පොලිතින් කවරයෙන් ආවරණ වූ දොරින්
හෙමින් මම එබිකළා

සයවසක පොඩි පුතෙක්
කක්කුස්සි වලක් මත නිදිකිරා වැටෙනවා
දැනුණු ඒ කම්පනෙන්
මගේ හැගුම් ගොළු කළා
සාක්කුවේ තිබුණු ඒ

සියලු දෙය කැපකළා  



Wednesday, July 27, 2016

බියගුල්ලකු වූ හිට්ලර්


සමස්ථ ලෝකයම ලේ විලක් කිරිමට යත්න දැරූ හිට්ලර් නිර්දය ලෙස සරදමට ලක් කරමින් ඔහු අතිශය බියගුල්ලකු බවට පත් කරවුයේ ලොවට සිනමා යුගයක් බිහි කළ චාලි චැප්ලින් තම නිර්මාණයක් වූ ‘’ The Grate Dictator’’ තුලිනි. සැබෑ ලෙසම  හිට්ලර් වනාහී අතිශයින්  බිය මුසුව තම ජීවිකාව ගෙවූවකු වේ. එය ඔහුගේ ජීවිතය දෙස විමර්ශනාත්මකව බලන්නකුට ඔහුගේ චර්යා තුලින්  ඒ බව අවබෝද වේ.

                       ලිපි ලේඛන කියවිමට උපැස් යුවලක් භාවිතා කළ හිට්ලර්  එය මහජනයා දැන ගනිතී යැයි බියකින් පසු වූ අතර ඒ සදහා මජනයා ඉදිරියේදී සිදු කළ කතාවන් සටහන් කර ගැනීම සදහා වෙනම ම යතුරු ලියනයක් භාවිතා කරනු ලැබීය. තවද හැගීම්  කුපිත කරවිමට සමත් කථිකයකු වුවද  ඔහු තම කතාව වැරදීමට ඇති බිය අවම කර ගැනීම සදහා කැඩපත ඉදිරියේදී බොහෝ වරක් කතාව සිදු කිරීම සදහා පෙර පුහුණු වීම් වල නිරත වුවේය. 

                                   හිට්ලර් වනාහී තම සෞඛ්‍ය පිළිබදවද දැඩි බියකින් පසු වූවකු විය උදරය ඉදිරයට නෙර එතැයි සිතු ඔහු  අබිං මිශ්‍ර එන්නතක් ලබා ගත් අතර ඉන් පසුව එහි විෂ නැසීමට එන්නතක් ද ලබා ගනු ලැබුවේය. උදරාබාධයකින්  පිඩා විදි ඔහු තම සංවේදී කතා සිදු කරන අතරවාරයේ එම වේදනාව ඉස්මතු වීම වැලක්විමට එන්නතක් ලබා ගත් අතර එහි විෂ නැසීමට ද  එන්නතක් ලබා ගත් බව වාර්තා වේ.

                                 තමා විනාශ කිරිමට බොහෝ දෙනකු මනා බලති සිතු ඔහු තම ආහාර සදහා අවශ්‍ය වන බෝග තම ගෙවත්තේදී ම වෙනම භූමියක වගා කළ අතර  ඊට භාවිත කරනු ලබන පස මෙන්ම යොදනු ලබන ජලය පවා නිතර නිතර පරික්ෂා කරනු ලැබීය. අවසන් මොහොතේදී තම ප්‍රතිවාදීන්ට මුහුණ දිමට තරම් දිරිමත් නොවූ ඔහු වසර ගණනක් ඇසුරු කළ පෙම්වතිය විවාහ කොට ගත් දිනට පසු දින සිය දිවි නසා ගනු ලැබුවේය.



                         මේ අනුව සමස්ථ දියතම තම අණසකට නතු කර ගනිමට යතන දැරූ මහා ආ{dදායක ‍හිට්ලර් තම දිවි පෙවත අධික බියකින් ගෙවූ බව සනාථ වේ. ඉන් ධ්වනිත වනුයේ ලෝකයා හමුවේ ප්‍රබල ප්‍රතිරූපයන් මවාගෙන සිටිනා කවරකු වුවද ලොවට හෙළි නොකරන ප්‍රබල ප්‍රතිවිරෝධී චරිතයක් තමන් තුලම සගවාගෙන සිටිනා බවය. ලෝ දහම අවබෝද කොට ගත් සත්ත්වයන් ලෙස අප එවැන්නන්ට අනුකම්පා කරනු හැර කළ හැකි අන් කිසිවක් නොවේ. තවද අප අවබෝද කොට ගත යුතු ධර්මතාව වනුයේද අප ලොවට මවනා ව්‍යාජ ප්‍රතිරූපය ඉක්මවා ගිය සැබෑ ස්වරුපය සමජයට අප නොදැනුවත්වම හෝ අපේ ක්‍රියාකලාපය තුලින් දෘශ්‍යමාන වන බවය. එහෙයින් මා මම ම මිස සමාජය හමුවේ අන් කවරකු හෝ නොවිය යුතුය.

Monday, July 25, 2016

ලෝකය උඩුයටිකුරු කළ ඇපල් ගෙඩි තුනක්.

“ඇපල්” කිව්වම ලෝකයේ බහුතරයක් මිනිස්සු අදුනනවා. ඇපල් ගහක් කවදාවත් දැකල නොතිබුණාට දවස් ගණන්, මාස ගණන් පරණ ඇපල් මිනිස්සු කිසිම අපුලක් නැතුව රස කර කර කනවා. “ඔබ ඇපල් මලක් වගේ......” කිව්වට සමහර විට ඇපල් මලක් කොයි විදිහද කියල හිතලවත් නැතුව ඇති. කොහොම නමුත් ඇපල් කියන්නනේ ලෝකය වෙනස් කළ පළතුරක්. එක පාරක් නෙමේ තුන් පාරක් ඇපල්, ලෝකය වෙනස් කලා. ඇපල් ගෙඩියකට එච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්නවත් බැරි වුනාට ඒක තමා ඇත්ත.

ඇපල් ලෝකය වෙනස් කරපු පලවෙනි වතාව තමා ඒව ඇපල් කාල ඒකට ආදම්වත් හවුල් කර ගත්තු එක. ඒ සිදුවීම ආගමකට කේන්ද්‍ර  වුණාට නිර්මාණවාදී මතවාදයේදී යම් තැනක් ඒ සිදුවීමට තියනවා. ලෝකයේ බහුතරක් දෙනා ඒ කතාව විශ්වාස කරනවා. මිනිස්සු පව්කාරයි කියල ලෝකයට පෙන්නපු පළවෙනි වතාව ඒක. මිනිස්සු පාපයට බය නැති වුන පළවෙනි වතාවත් ඒක. පව්කාර මිනිහට පව්කාරකමට අත්පොත් තියන්න උදව් වෙලා තියෙන්නේ ඇපල් ගෙඩියක්. සමහර විට ඒ ඇපල් ගෙඩිය ලෝකයේ පළවෙනි ඇපල් ගෙඩියත් වෙන්න පුළුවන්.
ලෝකය වෙනස් කරපු දෙවෙනි ඇපල් ගෙඩිය තමා සර් අයිසෙක් නිව්ටන් ගේ ඔළුවට වැටුණේ. මහා අවුලක හිටපු සර් අයිසෙක් ගුරුත්වාකර්ෂණය හොයා ගන්නේ ඒ ඇපල් ගෙඩියට පින් සිද්ද වෙන්න. එකෙන් චන්ද්‍රයා පෘථිවිය වටා යද්දී ඒමත ක්‍රියාකරන කෙන්ද්රාභීසාරී ත්වරණත් පෘතුවිය මත පහලට වැටුනු ඇපල් ගෙඩිය ලක්වූ ගුරුත්වජ තවරණයත් කියන  දෙකම එකක් වෙන්න පුළුවන් කියල හිතුවා. 1665 දී කේම්බ්‍රිජ් සරසවියෙන් පන්ති තහනමට ලක් වෙච්ච අයිසෙක් ශිෂ්‍යයා ලෝකයක් හදුනන මහා විද්වතෙක් කළේ ඇපල් ගෙඩියක්. නුතන ලෝකයේ භෞතික විද්‍යවේ ප්‍රගමණයට මේ ඇපල් ගෙඩිය දායක වුනා කියන ඒක නම් නොරහසක්....



තුන්වෙනි වතාවට ලෝකය වෙනස් කලේ ඇපල් ගෙඩියක් නොවුනට, එත් ඇපල්ම තමා. 1976 වර්ෂයේ අප්‍රේල් 1 වෙනිදා  කැලිෆෝනියා ප්‍රාන්තයේ කපර්ටිනෝ නගරයේ Apple සමාගම ආරම්භ වුනා. මේ  සමාගම මුල් වසර 30 දී ඇපල් පරිගණක සමාගම නමින් හැදින්වුනත් නිෂ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා සමාගම් නම ඇපල් සමාගම නමින් හැදින්වෙන්න පටන් ගත්තා. මේ සමාගමට දාන්න නමක් මතකයට ආපු නැති නිසා ස්‌ටීව් ජොබ්ස්‌ එයා කන්න කැමති පලතුර වෙච්ච ඇපල් වල නම තිබ්බා. සන්නිවේදන තාක්ෂණයේ හිනිපෙත්තට ලෝකය අරන් ගිය තොරතුරු තාක්ෂණය ගැන අලුතෙන් හිතන්න පුරුදු කරපු ස්‌ටීව් ජොබ්ස්‌ ගේ ඇපල් ලෝකය ආයේ අලුතෙන් ලිව්වා.
අයෙත් ඇපල් ලෝකය වෙනස් කරන්න ගොඩක් අවස්ථාව තියනවා. ඒ වෙනකම් අපි ඇපල් කකා බලාගෙන ඉමු.



  

Sunday, July 24, 2016

THE මගුල


මැඩෝනා නම් මම,

සත්වසක් ආලය මේ යැයි කියාදුන් ශිවා
සිව්වසක් දෙනයන පුට්ටුවට දත කෑ සලීම්
සොළොස්වසක් එක්ව අකුරු කළ කුසල්
මුහුණු පොතෙන් unfriend කර
නැකත්බර දවසක
ඉන්දියන් සාරියකින් සැරසී
මංගල සීනුහඩ මැද
දවස් 10 ක් නොදුටු
සිහළ ගොවි
කිතුනු ශ්‍රාවක
ජෝජ් හා සරණ ගියෙමි.

Saturday, July 23, 2016

විකසිත නොවූ පෙම

දහදියෙන් තෙත් වෙලා
ඔබේ සිරුර දෙස බලා
උඩ බලන පොරවකට
ලෙන්ගතුව මත් වෙලා
                                      
අදින්නාවූ කරත්තේට
විමසිලින් අස් යොමා
අනේ අපි  කවදාද
මේ දුකින් ගැලවිලා

පෙම්  බැන්ද යුවතයට
කෙසේ නම් පවසම්ද
උඩු යටීකුරු ලොවේ
දැහැමි පෙම් ඇත කියා
                                         
ලස්සනයි  ලෝකය
දෑස් පිය නෙතු  සලා
අවසරයි නංගියේ
නුඹට මං පෙම් කළා 



                                  

අපේ අප්පච්චී

හෝ...... හෝ....... හඩට හඩ නගයි මුහුදු රළ 
වෙරදරා වීරියෙන් අපේ බඩ පුරවන්න 
කරයි තරණය සයුර ඔහු ජයගන්න 

ආදරය හිතදරා දුම් දමන කේතලය 
ලිප උඩින් බෑවාය ඈ 
ජීවිතය ගෙන යන්න වෙහෙස වූ අප්පච්චිට  

දයාබර නංගියේ,
මං කෙසේ පවසම්ද
දියෝගුස් බාප්පා 
අපට කිවූ ඒ පුවත 

ඔරු කදින් ලෙස්සලා
මුහුදටම බිලි වෙලා 
අනේ අපේ අප්............පච්චී 
මුහුදටම බිලි වෙලා

Thursday, July 21, 2016

කුරුම්බැට්ටි මැෂිමෙන් ගිලිහී මැෂින්ගන් කරා යන අපේ ළමා පරපුර.

කුරුම්බැට්ටි මැෂිමෙන් මැසූ රෙදිපිළි ඇගලාගෙන , සෙල්ලම් කඩයෙන් මිලදීගත් හාල් පිනි ගෙන සෙල්ලම් ගෙදර බත් පිසූ දගකාර පොඩිත්තන්ගේ සමය අවසන්ව දශකයක්ද ඉක්ම ගොස් ඇතකලකට පසුව පොඩිත්තන් කෙළිදෙලෙන් ගත කළ සන්ද්‍යා සමය ජනමාධ්‍ය හරහා පැමිණි මනෝමුලික විරවරුන් තම දස්කම් පෑමටත්, යථා 

ලෝකය දරුවාගෙන් දුරස් කිරිමටත් යුහුසුළු වුහ.
වත්මන තුල දෘශ්‍යමාන වන නවතම ප්‍රවණතාව වනුයේ ජනමාධ්‍ය හරහා පෙළඹවිම් කාරකයක් ලෙස බටහිර කාන්තාවන්ට ලිංගික උත්තේජනය ලබා දුන් රෙස්ලින් වැඩසටහන් නුතන ලාංකේය දරුවාගේ ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් බවට පත්ව තිබීමයි. සිත්පිත් නැති එවුන් සේ දරුවා පරිඝනක ක්‍රීඩා ඔස්සේ ආයුධ සන්නද්ධව සමූල ඝාතනය කරමින් මිෂන්ජයග්‍රහණයට යොමුව තිබේ. අනෙකාගේ ප්‍රබල පරාජය තම අද්විතීය ජයග්‍රහණය බව දරුවා ගෝචර කොට ගෙන තිබේ. නුතන දෙමාපියන්ද උපායශීලි, වඩාත් ම්ලේච්ඡසහගත පරිගණක ක්‍රීඩා CD, VCD දරුවා ඉදිරියේ ගොඩ ගැසීමෙන් දාරක සෙනෙහස ලබා දිමට උත්සුක වෙති.

ඔයා දන්නවද යාළු මම ඊයේ වතුරේ වටිචිච කූඹී පැටව් 3 දෙනෙක් බෙර ගත්තා.’ යැයි මිට කලකට පෙර දස හැවිරිදි දරුවකු පැවසූ  නමුදු නුතනයේ  දස හැවිරිදි දරුවකු ‘‘ඔයා දන්නවද මචං මම ඊයේ GTA ගේම් මිෂන් 3 එකේ මිනිස්සු 18 දෙනෙක් මැරුව’’ පැවසීම සුලභ ය. සමස්ථ ජීවිතයේම ආදරණිය මතක සටහන් සනිටුහන් වන සොදුරු ජීවන කාලපරිච්ඡේදය වන ළමා අවදිය තුළ අද්‍යතන දරුවා ආත්මාර්ථකාමී සටන්කාමියකු  වී හමාරය. එහි වගකීම දරුවා මත හෝ දෙමාපියන් මත හෝ සමාජ ක්‍රමය මත හෝ පැටවීම යුක්ති සහගත නොවේ.

කලෙක නිර්මාණශීලි මිනිසුන්ගේ ජීවිතයේ පදනම වූ ළමා අවදිය වත්මන වන විට අනාගත ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයේ නිජ බිම බවට පත්ව ඇත. සමස්ථ සමාජයම  උඩුයටිකුරු කිරීම අපහසු නමුදු පෞද්ගලිකමය ආකල්පීය වෙනසකින් සමස්ත සමාජ ක්‍රමයම  ප්‍රතිසංස්කරණ කිරීම නම් අපහසු නොවනු ඇත. ආගාධය කරා යන අනාගත පරපුර ගලවා ගැනීම මා තුළ මේ නිමේෂයේදීම උඩුගම් බලා යන ආකල්පීය වෙනසක් ඇති කොට ගත යුත්තේමය.

            

Wednesday, July 20, 2016

ලාභ නොවූ , සාර ස්ත්‍රී කදුළු



සිරුරෙන් පිටවන ශ්‍රාවයන් බොහෝ විට අපට ජුගුප්සාව උපදවයි. එනමුදු ලොව අපට කියා දෙන , දෙනයන තුලින් පිට වන ශ්‍රාවය වන්නාවූ ‘කදුළු ’ කෙරෙහි අපට ඇත්තේ අන් අයුරක භාවයන් වේ. එය කෙතරම් භාව උද්දීපනයට ඉවහල් වන්නේද යත් සාහිත්‍ය රසය පවා කදුළු තුලින් ජනිත කරවයි . මේ වූ කදුළු හා ස්ත්‍රිය අතර ඇත්තේ අනුපමේය නමුදු විස්තර කොට නොහී මෙන්ම චමත්කාරජනක සබදතාවයකි.
‘’ එදා මෙදා තුර  කදුළට විවර වූ දෑස් පියන්පත් කවුළු වසා ..............’’ පෙම්වතියගේ වියෝගයෙන් පෙලෙනා පෙම්වතා තම පෙම්වතිය ගීත සාහිත්‍ය තුල දුටුවේ එලෙසිනි. කදුළු වැටෙනා පුරුෂ නෙත් දුටු කවරෙකු වුවද "ගෑණු  කෙනෙක් වගේ අඩනවා’’ යැයි පැවසීම සුලබය. සමාජය කදුළු සැලීමේ හිමිකම එලෙස ස්ත්‍රිය මත පවරා ඇති බව දෘශ්‍යමාන වේ. විටක කදුල ස්ත්‍රියට ආභරණයක්ද, විටක පරා වළල්ලක්ද, විටක අභියෝගයක්ද, තවත් විටක අනතුරකද වනු ඇත. කාන්තාවක කදුළු සලනුයේ හුදෙක් දුක තුනී කරගනු සදහා පමණක්ම නොවේ. විටක ඇය සතුටට ද විටක ශෝකයට ද තවත්  විටක බියට ද කෙන්තියට ද, සංවේදී කරනා හමුවේ සේම අහේතුකව ද කාන්තාව කදුළු සලන්නිය. ඇගේ ඒ කදුළු හමුවේ සමාජයේ වූ අන් ප්‍රතිචාර කෙරෙහිද ඒ ස්ත්‍රි කදුළු ම අපේක්ෂා සහගතව සිටින්නීය.

සතුට ට දෙනයන තෙත් කරනා කදුළු ලොවට පෙන්විමට ඈ ආශා ඇත්තීය. ඒ එවිට කදුල ඈ කෙරෙහි ඇති අනුපමේය සන්තුෂ්ටියේ සංකේතය වන බැවිනි.  ශෝකය  පළ කිරිමට ගලනා  කදුළු සැගවිමට ලලනාවක උත්සුක වෙයි. අගේ ඒ කදුළු හි අර්ථය විමසීම ඒ මොහොතට උචිත නොවනු  අතර එය පසුව විමසීම නුවණට හුරු වනු ඇත. කෙන්තියට හෙළනා කදුළු හි අරුත සමාජය විමසතැයි කදුළු සලන්නිය අපේක්ෂා කරනා අතර ඇයට වූ අසාධාරණය සමනයට එය රුකුලක් වනු ඇත. සංවේදී කරනා හමුවේ  කදුළු සලනා අයෙකු තම සවේදී බව සමාජයට දැනවීමට රුචි නම් කදුළු  සගවා නොගන්නා අතර, තම සවේදී බව සමාජයට දැනවීමට අකමැති ලදුන් තම සවේදී බවේ ප්‍රතිමුර්තිය වූ කදුළු සැගවිමට උත්සුක නොවෙති.

මවක, දියණියක, සොයුරියක, මිතුරියක, පෙම්වතියක, බිරිදක ලෙස අප සියල්ලන් කාන්තාවන් හා සමාජීය මෙන්ම දැඩිතර ප්‍රේමනීය සබදතා පවත්වමු. එසේ හෙයින් කදුළු සමග සබදතා පවත්නා ස්ත්‍රිය සමග සම්බන්දතා ගොනු කර ගන්නා අපි කතකගේ දෙනෙතින් වැටෙනා කදුළු කුමකට වැටෙනා කදුළු ද, ඊට කවර ප්‍රතිචාරයක් දැක්විය යුතුද  යන්න නිසි අවබෝදයෙන් කටයුතු කරන්නේ නම් කාන්තාවන් හා අතර ඇති කවර ආකාරයේ සබදතාවක් වුවද වඩා සාර්ථක අයුරින් පවත්වාගෙන යා හැකිය.